පයිනැපල් අප්සයිඩ් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය-
- සෙන්ටිමීටර 23 විෂ්කම්භය ඇති බටර් ගාගත් රවුම් බේකින්ග් තැටියක්
- කැරමල් වලට-
- ගාගත් හකුරු හෝ දුඹුරු සීනි ග්‍රෑම් 160
- පොඩියට කපාගත් බටර් ග්‍රෑම් 60
- කේක් එකට-
- ඉදුණු අන්නාසි ගෙඩියක්
- පිටි ග්‍රෑම් 200
- බේකින්ග් පෞඩර් තේ හැඳි 2
- ලුණු තේ හැඳි 1/4
- බිත්තර 2
- බටර් ග්‍රෑම් 110
- කැට පොඩි සීනි ග්‍රෑම් 200
- වැනිලා තේ හැඳි 1
- කිරි මිලි ලීටර් 120
කැරමල් සඳහා අවශ්‍ය හකුරු, බටර් අඩු ගින්දරින් හැඳි ගාමින් රත් කර ගන්න. එහි කැට නැති වූ විට හැඳි ගෑම නතර කර වටේ බුබුළු දමනකම් රත්කරගන්න. එය කර නොවිය යුතුය. එය උනුවෙන්ම බේකින්ග් පෑන් එකට දමාගන්න. එහි පතුල වැසෙන ලෙස එය තුනී කරගන්න.
අන්නාසි ගෙඩිය සුද්දකර හතරට පලා බඩය ඉවත්කරන්න. අගල් 1/4 විතර ඝනකමට පෙති කපාගන්න. ඒවා කැරමල් එක උඩින් ඉතා ළගින් හිඩැස් අවම ලෙස පතුල වැසෙනකම් එක තට්ටුවක් වෙනලෙස තියන්න.
දැන් කේක් එක සදා ගැනීමට පිටි, බේකින්ග් පෞඩර්, ලුණු කලවම් කර 2 වරක් හලා ගන්න.
බිත්තර කහමද වෙන්කරගන්න. (කාමර උෂ්ණත්වයෙන්)
බටර් (කාමර උෂ්ණත්වයෙන්) ක්‍රීම් වනතුරු බීට් කරගන්න. සීනි කලවම් කර විනාඩි කිහිපයක් බීට් කරන්න. බිත්තර කහමද එකබැගින් එකතු කර බීට් කරන්න. වැනිලා එකතු කරගන්න.
දැන් බීට් කරනගමන් පිටි මිශ්‍රණයෙන් 1/3 ක් එකතු කරන්න. එය හොදින් කලවම් වූ පසු කිරි වලින් 1/2 ක්ද, ඉතුරු පිටි වලින් 1/2 ක්ද නැවත ඉතුරු කිරිද, අවසානයේ ඉතුරු පිටිද එකතු කර ගන්න.(පිටි 3 පාරකටද, කිරි දෙපාරකටද එකතු විය යුතුය.)
බිත්තර සුදු මඳ වෙනම ඉතා හොදින් ගසාගන්න.(පෙන කඩා වෙටෙන ගතිය යනකම් බීට් කරන්න.)
ගසාගත් බිත්තර සුදු මඳ කේක් මිශ්‍රණයට දමා හිමින් පැතලි හැන්දකින් කලවම් කරගන්න.
එය අන්නාසි දැමු පෑන් එකට හිමින් දමාගන්න. විනාඩි 45-55 ක් සෙල්සියස් 180 ට බේක් කරගන්න. මැදට ටූත් පික් එකක් ගැසුවිට එහි කිසිත් ගෑවී නැත්නම් එය බාගන්න.
පෑන් එකේ අයින වටේට පිහිතලයක් යවා කේක් එක බුරුල් කරගන්න. පැතලි පිගානක් පෑන් එක උඩින් තබා උඩයට ගසාගන්න. අන්නාසි කැබලි පෑන් එකේ ඇලී එත්නම් ඒවාද කේක් එක උඩින් තියාගන්න. දැන් උනුවෙන්ම කන්න.
උපුටා ගැනීම : kitchen.tharunaya.us
Comments
Post a Comment